“කෝ බං මේ අරුණසිරි?”

අද කතාව 80,90 දශකයන් වල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල දක්ෂ වමත් පිටදඟ පන්දුයවන්නෙක් වුන දොන් අරුණසිරි මහත්මයා ගැනයි.

මේ කතාව මාත් දැනගත්තේ රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා මුරලි මේ කතාව ගැන මතක් කරපු අවස්ථාවක වීඩියෝ එකක් දැකලා තමයි.

අනිත් දේ තමයි විශේෂයෙන්ම කියන්න ඕන,

මේ කතාව ලියන්නේ විනෝදාස්වාදය උදෙසා මිසක් අපහාස කිරීමේ චේතනාවකින් නෙවේය කියන එක!

මෙන්න මෙහෙමයි මුරලි අරුණසිරි මහත්මයා සම්බන්ධ වුන ඒ රස කතාව කිව්වේ.

“90 දශකයේ මුල්භාගයේදි අපිට පකිස්තානයත් එක්ක ටෙස්ට් තරඟාවලියක් යෙදිලා තිබුණා,
අවාසනාවකට මට ඒ තරඟාවලියට සහභාගී වෙන්න
නම් බැරිවුනා…!

ඒ කාලේ පකිස්තානයේ වසීම්,වකාර් කියන පන්දුයවන්නෝ දෙන්නා පන්දු යවපු විදිය බොහොම මාරාන්තිකයි.
වසීම්,වකාර් දෙන්නා යවපු හැම පන්දුවාරයක් අවසානයේම අපේ පිතිකරුවන්ගේ තැලුණු ඇඟවල් වලට තියන්න ඕන අයිස් අරගෙන යන්න ලෑස්තිවෙලා වෙනමම ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් හතරේ සීමාව ලඟ කොයිවෙලේත් ලෑස්තිවෙලා හිටියා..!”

“ඉතින් මේ තරඟාවලියේ එක ටෙස්ට් තරඟයක් අතරතුර හවස් වරුවක අපේ කඩුළු දැවුණ නිසා,
‘නයිට් වොච්මන්’ විදියට පිතිකරුවෙක් පිටියට ‍
යවන්න සිද්ධ උනා.
එදා අපේ කණ්ඩායමේ ‘නයිට් වොච්මන්’ වැඩේ කරන්න යෝජනා වුනේ දොන් අරුණසිරි අයියගේ නම තමයි.
ඒ කාලේ අපේ කණ්ඩායමේ කළමනාකරු විදියට වැඩකලේ රංජිත් ප්‍රනාන්දු මහත්මයා.

අපිට ඒ කාලේ පුහුණුකරුවෝ හිටියේ නැහැ,
පුහුණුකරුගේ වැඩේ කලෙත් රංජිත් ප්‍රනාන්දු
මහත්මයාම තමයි..!”

“දැන් කට්ටියම නයිට් වොච්මන් විදියට යවන්න ඉන්න අරුණසිරි අයියව හොයනවා,
කාටවත්ම අරුණසිරි අයියව හොයාගන්න බෑ.
හැමතැනම හොයලා හොයලා අන්තිමට වැසිකිළියෙත් බැලුවලු ඒත් අරුණසිරි අයියා නැහැ..!

අන්තිමට අරුණසිරි අයියා වෙනුවට නයිට් වොච්මන් වැඩේ කරන්න යැව්වේ චම්පක රාමනායකව.
එයාටත් වසීම් දැම්මේ පන්දු දෙකක් විතරයි.
විකට් ගැලවිලා අවුට් වෙලා එයත් ගිය පයින්ම ආපිට ආවා.

හොඳම වැඩේ කියන්නේ,

පස්සේ තමයි දැනගත්තේ අරුණසිරි අයියා වසීම්ටයි,
වකාර්ටයි බැට් කරන්න බය නිසා වැසිකිළියට රිංගලා කොමඩ් එක උඩ නැගලා හිටියා කියලා..”

  • හේලිත හෙට්ටිආරච්චි
Design a site like this with WordPress.com
Get started